top of page

පෙළගැස්ම..

පළමුවැනි පරිච්ඡේදය


භාග්‍යවතුන් වහන්සේ ගේ ජීවන රටාව අපූරු එකක් විය. උන්වහන්සේ යමෙකු ගෙන් ප්‍රශ්නයක් ඇසූව ද එහි අර්ථයක් විය. යම් කිසි ගමනක යෙදුණේ වී ද එහි ද අර්ථයක් විය. යම් කිසි තැනක වැඩ සිටියේ නම් එහි ද අර්ථයක් විය. යම් කිසිවෙක් ගේ සන්තානය ස්වකීය චිත්තයෙන් පිරික්සා බැලුවේ නම් එහි ද අර්ථයක් ම විය. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ ජීවන රටාවේ මේ ආශ්චර්යය සියල්ලට පළමු ව උගත යුතු ය. භාග්‍යවතුන් වහන්සේ සතු අපරිමිත ගුණ සමුදාය උන්වහන්සේ ගේ මේ අපූරු ජීවන රටාව ඉගෙනීමෙන් ද ශ්‍රාවකයෙක්ට වුවමනා ප්‍රමාණයකට දැන ගත හැකි ය. එනිසා ඉතා ම ආශ්චර්ය කරුණු රැසකින් යුත් භාග්‍යවතුන් වහන්සේ ගේ ජීවන රටාව කෙබඳු ආකාරයේ එකක් දැ යි විස්තර සහිත ව විමසීම සඳහා මේ පරිච්ඡේදය වෙන් කර ඇත.


දෙවැනි පරිච්ඡේදය


මුළු මහත් ත්‍රිපිටක ධර්මය පුරා ම, අර්ථකථා පුරා ම භාග්‍යවතුන් වහන්සේ ගේ මෙත් කරුණා ගුණය පිරී ඇත්තේ ය. ධර්මයේ ඇති වචනයක් වචනයක් පාසා ම දකින්නට ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ගේ මෙත් කරුණා ගුණය ය. නමුත් එය ඕනෑ ම අයෙකුට ප්‍රකට ව වැටහෙන ආකාරයේ අවස්ථාවන් රැසක් ත්‍රිපිටක ධර්මය තුළ දක්නට ලැබෙයි. මේ පරිච්ඡේදය එය විමර්ශනය කරනු පිණිස ය. එම කරුණු ඉස්මතු කිරීම පිණිස ය.


තුන්වැනි පරිච්ඡේදය


මුළු ධර්මය පුරා ම ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනා කෞෂල්‍යය ම ය. එහි සැක සහිත තැනක් නම් නැත්තේ ය. නමුත් ඇතැම් අවස්ථා වල විශේෂයෙන් ම භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනා කෞෂල්‍යය පිළිබඳ ව සිත් පහන් කර ගත හැකි අවස්ථා එන්නේ ය. මේ පරිච්ඡේදය ඒ සඳහා වෙන් කර ඇත.


විශේෂයෙන් ම ඇතැමෙක් ධර්මය දේශනා කරන විට ම ලාභ සත්කාරයක් අරමුණු කොට ධර්මය දේශනා කරයි. භාග්‍යවතුන් වහන්සේ එසේ නොවේ. ලෝක ආමිෂය පිළිබඳ ව අපේක්ෂාවක් නැති ව, යහපත පතුරුවාලන මෛත්‍රී සහගත බවින් මොළොක් වූ හදවතක් ඇත්තේ ම උපකාරී වන ස්වභාවයෙන් ම ධර්මය දේශනා කරයි. එනිසා එම දේශනාව අතිශය පාරිශුද්ධ ය. එම පාරිශුද්ධ වූ දේශනා ප්‍රාතිහාර්යයෙන් සුවපත් බව ලත් බොහෝ සත්ත්වයන් භාග්‍යවතුන් වහන්සේ ගේ අමෘත වන් මිහිරි වූ දේශනාවන් අභියස සුවපත් වූ අයුරුත්, එයින් ප්‍රකට කර ගත හැකි භාග්‍යවතුන් වහන්සේ ගේ අසමසම දේශනා කෞශල්‍යයත් පිළිබඳ ව දැනෙන ගුණයන් ඉස්මතු කිරීම සඳහා මේ පරිච්ඡේදය වෙන් කොට ඇත්තේ ය.


සතරවැනි පරිච්ඡේදය


භාග්‍යවතුන් වහන්සේ ගේ බුද්ධ කිස කරන කාලය තුළ දී පවා භාග්‍යවතුන් වහන්සේට නොයෙක් චෝදනාවන් එල්ල කළ අය සිටියෝ ය. චෝදනාවන් පමණක් නොව, ඇතැමුන් භාග්‍යවතුන් වහන්සේට නොයෙක් සාවද්‍ය කරුණු වලින් ගැරහුවේ ය. චිංචිමාණවිකාවන් ආදිය යොදවා සමාජයේ නින්දාවට භාජනය කරන්නට උත්සහ කළේ ය. අම්බට්ඨ වැනි මාණවකයන් අධික මානයෙන් මත් ව භාග්‍යවතුන් වහන්සේ ගේ තත්ත්වය පහත හෙළා කථා කරන්නට උත්සාහ කළේ ය.


භාග්‍යවතුන් වහන්සේ ගේ පෞරුෂය සහ හැසිරීමේ ස්වභාවය නො දත් ඇතැම් අඥානයන් විසින් භාග්‍යවතුන් වහන්සේට මේ ආකාරයෙන් යම් චෝදනාවක් එල්ල වන විට, නින්දාවක් එල්ල වන විට, යමෙක් උන්වහන්සේ ව පහත හෙළා කථා කරන්නට උත්සාහ කළ විට භාග්‍යවතුන් වහන්සේ ගේ සැබෑ හැසිරීමේ ස්වභාවය කෙබඳු විය දැ යි කරුණු නිසියාකාර ව නො දැන තමන් ගේ මානයෙන් පමණක් කරුණු විමසා උන්වහන්සේ ගේ චරිතයට අනුවර්තනය වීම පසෙක ලා, ධර්මයේ මතු වන ඇතැම් කොටස් පමණක් ගෙන භාග්‍යවතුන් වහන්සේ ව තමන්ට අනුවර්තනය කර ගැනීමට යන බවක් සමාජයේ කොතෙකුත් දක්නට ලැබෙයි. ඒ ඔවුන් ගේ ධර්ම ඥානයේ මඳ බව, භාග්‍යවතුන් වහන්සේ ගැන නො දැනීම, ශ්‍රද්ධාවේ මඳ බව, බුද්ධ ශාසනයක දී වත් ප්‍රතිඵල ගැනීමට තරම් පමණ නැති ප්‍රඥාව යන කරුණු නිසා ය. එනිසා ත්‍රිපිටකයේ ඇති කරුණු දක්වා උන්වහන්සේ ගේ සැබෑ පෞරුෂය ඉස්මතු කිරීම පිණිස මෙම මාතෘකාව ඔස්සේ කරුණු දක්වා, එම සංසිද්ධි විමසීමට භාජනය කර ඇත.


පස්වැනි පරිච්ඡේදය


භාග්‍යවතුන් වහන්සේ වෙත චෝදනා එල්ල වූ විට උන්වහන්සේ ඒවාට ප්‍රතික්‍රියා දැක් වූ ආකාරය පිළිබඳ ව ඉහත පරිච්ඡේදයක දී විවරණය කොට තැබූවෙමි. උන්වහන්සේ ගේ බුද්ධ කිස කරන කාලය ඇතුළත උන්වහන්සේ සතු ව තිබූ අප්‍රමාණ ගුණ කඳ සත්ත්වයාට මහත් සේ ප්‍රකට විය. ඒවා දැන ගැනීමට තරම් වාසනාවක් නො තිබූ අන්ධයෝ කිහිප දෙනෙක් පමණක් උන්වහන්සේට ඒ ඒ අවස්ථාවන් වල දී දැක් වූ පරිදි චෝදනා මුඛයෙන් කථා කරන විට උන්වහන්සේ ඒවාට ප්‍රතික්‍රියා දැක් වූ පෞරුෂය ඒ පරිච්ඡේදයේ දී ඉස්මතු කොට දක්වනු ලැබී ය. උන්වහන්සේ නිවට නියාලුවෙකු සේ ඒ කිසිදු අවස්ථාවක නො සිටි අතර ඒවාට සෘජු පිළිතුරු මනස දූෂණය වීමකින් තොර ව ලබා දුන් ආකාරය පිළිබඳ ව එහි දී කරුණු දක්වනු ලැබී ය. ඒ අවස්ථාවන් වල භාග්‍යවතුන් වහන්සේ ළඟ තිබූ කරුණා ගුණය, මෘදු ගුණය, සෘජු ගුණය සහ පෞරුෂය පිළිබඳ ව එයින් වැටහෙනු ඇතැයි සිතමි.


මෙසේ ස්වල්පයක් වූ අඥානයන් අතර උන්වහන්සේ ගේ ගුණ දැක උන්වහන්සේ ව නොයෙක් ආකාරයේ උපමා භාවිතයෙන් වර්ණනා කළ අවස්ථා ද ත්‍රිපිටකය පුරා ම දක්නට ඇත. එවැනි අවස්ථාවන් වල භාග්‍යවතුන් වහන්සේ ළඟ තිබූ මධ්‍යස්ථ ගුණය, මායා රහිත බව, නො සිස් බව වැනි බොහෝ කරුණු මේ වර්ණනාවන් අභියස බුද්ධ ගුණයක් සේ පිළිබිඹු වන්නේ ය. එවැනි අවස්ථාවන් දක්වන්නට මේ පරිච්ඡේදය වෙන් කොට ඇත්තේ ය.


සයවැනි පරිච්ඡේදය - තවමත් ඡේදය වෙන් කර නැත.


සත්වැනි පරිච්ඡේදය - තවමත් ඡේදය වෙන් කර නැත.

අටවැනි පරිච්ඡේදය


භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වන කාලය වන විට ඉන්දියාව පුරා බොහෝ සත්‍යය ගවේෂකයන් බිහි වී තිබුණි. එකල පැවති දෘෂ්ඨි පමණක් දෙසැටක් වන බව බ්‍රහ්මජාල සූත්‍රයෙන් එළි පෙහෙළි වේ. මෙසේ බොහෝ සත්‍යය ගවේෂකයන් බිහි වී තිබුණු යුගයක භාග්‍යවතුන් වහන්සේ ගේ පහළ වීම කණාමැදිරියන් ගෙන් එළිය වී ඇති වනාන්තරයකට සූර්යයා ගේ පහළ වීම බඳු විය. බොහෝ ශාස්තෘවරු තමන් බුද්ධ යැයි සිතා ගෙන සිටියේ ය. බොහෝ අය තමන් බුදු වී ඇතැයි කියාගෙන සිටියේ ය. විශේෂයෙන් ම එකල බොහෝ ප්‍රකට ව සිටි ෂට් ශාස්තෘවරු අතර භාග්‍යවතුන් වහන්සේ වෙනස් ම ආකාරයකින් සමාජයේ ශෝභමාන වන්නට විය. උන්වහන්සේ ගේ බුද්ධ පෞරුෂය ඒ අතරින් ප්‍රධාන තැනක් ගත් අතර දේශනා කළ ධර්මය ද, එම මාර්ගයට පිළිපන් ආර්ය මහා සංඝ රත්නය ද එකල වැඩ සිටි සියලු ශාස්තෘවරුන් ගේ පිරිස ද, ධර්මය ද, පෞරුෂය ද අභිබවා ගොස් සිටියේ ය.


මේ අතර තවත් ත්‍රිවේද පරප්‍රාප්ත වූ විවිධ බ්‍රාහ්මණවරු ද, වාදයෙහි කීර්තියක් ඔසවා ගෙන සිටි විවිධ උගත් බමුණන් ද නොයෙක් අවස්ථාවන් වල භාග්‍යවතුන් වහන්සේ සමඟ කථා බස් කොට ඇත. වාද කර ඇත. සංවාද කර ඇත. මේ සියලු තැන් මධ්‍යස්ථ මෙන් ම සූක්ෂම ඇසින් යුක්ත ව විමසා බැලූ කල, ඒ සෑම තැනකින් ම භාග්‍යවතුන් වහන්සේ ගේ ම අප්‍රමාණ ගුණ කදම්භය සුදු හඳුන් කොටයක් තලන කල එයින් නික්මෙන සුවඳක් සේ ලොව පුරා විහිදී ගොස් ඇත. පිටකත්‍රය පුරා ම ඇති කරුණු ගෙන එවැනි අවස්ථාවන් වල ඉස්මතු වන මහා කාරුණිකයන් වහන්සේ ගේ අපමණ බුද්ධ ගුණ සමුදාය විවර කරන්නට මේ පරිච්ඡේදය වෙන් කොට ඇත්තේ ය.


bottom of page