top of page

සංඥාපනය - අන්තර්ජාල පිටපත..

බුද්ධොති කිත්තයන්තස්ස - යස්ස කායෙ භවති යා පීති

වරමෙවහි සා පීති - කසිණෙනපි ජම්බුදීපස්ස


ලෝකයේ සිදු වන ආශ්චර්යයමත් ම සිදුවීම් අතර අති ආශ්චර්යයමත් ම සිදුවීම හැටියට ලොව්තුරු බුදුරජාණන් වහන්සේ නමක ගේ පහළ වීම පෙන්වන්නට හැකි ය. මනුෂ්‍යය තලයේ ම ඉපිද, මනුෂ්‍යය තලය ම අභිබවා ගෙන සර්වඥතා ඥානයෙන් තුන් කාලයට ම අයත් සෑම ධර්මයක් ම ස්වයං භූ ඥානයෙන් පිරිසිඳ දැන, පන්සාලිස් වසරක් පුරාවට ම සත්ත්ව වර්ගයා කෙරෙහි මහත් වූ කරුණාවකින් කළ දේශනා ප්‍රාතිහාර්යය වචන කරන්නට මා කිසිසේත් ම සමතෙක් නොවේ. එය අප ගේ චින්තන පරාසයෙන් ඔබ්බට විහිදී ඇති කරුණු රැසකින් සමන්විත වේ.


බුද්ධ විෂය ගැන මා බොහෝ කාලයක් අධ්‍යනය කරමින් සිටියෙමි. බොහෝ තැන් වල ඇති, බොහෝ කරුණු ගෙන භාග්‍යවතුන් වහන්සේ යනු කවරාකාරයේ කෙනෙක් දැ යි සොයන්නට වසර ගණනාවක් ම මම උත්සාහ කළෙමි. අවසානයේ මා බැස ගත් නිගමනය නම්, මේ සියලු කරුණු වෙන වෙන ම සිතන්නට මා සමර්ථයෙක් වූවත්, කිසි ම කලෙක මේ සියල්ල එක් කොට එක්වර සිතිය හැකි චිත්තයක ගේ ලැබීම නම් කිසිසේත් ම කළ නො හැක්කක් බව ය.


එය සත්‍යයකි. කවරදාක වත් භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ සමුදාය එක් පිඬකට ගෙන සිතන්නට මට හැකියාවක් ලැබී නැත. එක් එක් අවස්ථාවන් වල දී දැන ඉගෙන ගත් බුද්ධ විෂයට අදාළ කරුණු සියල්ල ගෙන කල්පනා කොට බැලූවත් භාග්‍යවතුන් වහන්සේ ගේ රූපකාය සම්පත්තිය පිළිබඳ ව වත් කිසිදාක කිව හැකි උපමාවක් වත් මගේ මනසට නැගී නැත. පරක් තෙරක් නො පෙනෙන ගැඹුරු මුහුදකට බැස ගත් අයෙක් එතෙර වීමට කෙළවරක් සොයන්නා සේ, බුදු ගුණ විෂයට මා බැස ගත් සෑම අවස්ථාවක ම පරක් තෙරක් නො පෙනෙන බුදු ගුණ සාගරයක අතරමං වූවා ම මිස, නැවත නැගෙන්නට තැනක් වත් මා හට ලැබී නැත.


මේ ග්‍රන්ථය පුරාවට ම මෙය කොතැනින්, කුමක් කියා අවසන් කරන්නට දෝ යි මා සිතූවත්, ආපසු හැරී බලන විට එය ආරම්භ කරන්නට වත් තැනක් නො ලදුව, භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ වයා නිම කරන්නට හැකියාවක් නො ලත් අසරණයෙකු ගේ හැඟීමෙන් ග්‍රන්ථය කළෙමි.


ධර්මය දකින්නා බුදුන් දකියි නම්, අසරණකමකින් ලිව්වා යැයි කීවේ ඇයි? මෙයට පිළිතුරක් මෙම ස්ථානයේ දී ම තැබිය යුතු ය. ධර්මය දැකීමෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ සර්වඥතා ඥානය මෙන් ම සම්මා සම්බුද්ධත්වය ගැනත්, උන්වහන්සේ ගේ ඥාන ප්‍රභේදයන් ගැනත් දැන ගැනීමට හැකි ය. එය සත්‍යයකි.


නමුත් බුදු ගුණ දැන ගැනීමේ මගේ පිපාසාව එපමණකින් නො සන්සිඳුනේ, භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව ත්‍රිපිටකයේ ඇතුළත් වන කථා ප්‍රවෘත්ති කියවීමේ දී ඒ සර්ව සම්පූර්ණ කාරණාව - පෞරුෂත්වය මුසු මනුෂ්‍යත්වයේ පිළිබිඹුව ගැන මේ ජීවිතය තුළ කියවා ඉවර කළ හැකි තරමක් අවසන් කර ගැනීමට මගේ සිත තුළ තිබෙන බුදු ගුණ දැන ගැනීමේ පිපාසාව නිසා ය.


බුද්ධ යැයි කියන යමෙකු​ ගේ කයෙහි යම් ප්‍රීතියක් වේ ද, ඒ ප්‍රීතිය දඹදිව පුරා පැතිර වූ කසිණයට වඩා උතුම් බව දේශනා වී තිබෙන කල, මාගේ සිතිවිල්ල අමුත්තක් නො වන එකක් බව නිසැකව ම ඔබට දැනෙනු ඇත.


මෙම ග්‍රන්ථය පුරාවට ම ත්‍රිපිටකය සහ අර්ථකථාව ඇසුරින් පිළිබිඹු වන භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ සමුදාය රචනා කොට ඇත. මන්ද යත්, ධර්ම රසය උකහා ගැනීමට තුන් පිටකය කියවන්නා හට එම කියවීමෙන් ඒකාන්තයෙන් ම ධර්ම රසය ලැබෙනු ඇති අතර, ඒ අහු මුලුවල තියෙන මේ උතුම් බුද්ධ නැමැති රත්නයේ ගුණ සමුදාය අරමුණු කර ගන්නට කාලය නොවෙයි.


එනිසා මම ද, ධර්ම රසය හැර පියා, බුද්ධ විෂය සහ කරුණු සිත තබාගෙන ම මේ ග්‍රන්ථය රචනා කරන්නට ම නැවත වරක් තුන් පිටකය කියවන්නට ආරම්භ කළෙමි. පෙල සහ අටුවාවෙන් ම කරුණු දක්වා ඇති අතර, මාගේ හිතළු කිසිවක් ඇතුළත් කර නැත.


මෙම ග්‍රන්ථයෙන් අප ශාස්තෘ වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය - කරුණාව - පෞරුෂත්වය වැනි කරුණු ප්‍රධාන වශයෙන් උකහා ගැනීමට හැකි පරිදි කරුණු දක්වා අති අතර, බහුතරයක ගේ සිතේ ඇඳී තිබෙන සුකුමාල බවක් නම් මා භාග්‍යවතුන් වහන්සේ ගේ චරිතය තුළින් දැක නැති නිසා එවැන් චිත්‍රයක් නම් මෙයින් මතු නො වෙනු ඇත.


කරුණාව - ප්‍රඥාව - පෞරුෂය - වීර්යය - උත්සාහය වැනි සියලු මනුෂ්‍ය ධර්ම වල කෙල පැමිණි එක ම ශාස්තෘ ලෙස අපමණ ගෞරවයක් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව මාගේ සිතේ ඇති නිසා, ඒ කරුණු ඉස්මතු කරමින් ම මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.


අන්තර්ජාල පිටපත ගැන විශේෂ කරුණක්.


මේ ග්‍රන්ථය ලියා අවසන් වූ විට පාඨකයාට කියවීමට දෙන බව මා කලින් සිතා සිටියත් මේ ග්‍රන්ථය කිරීමට ආරම්භ කළ පසු මෙය වසර හය හතක් මුත් ලියන්නට නම් සිදුවන බව මට වැටහී ගියේ ය.


එනිසා එතෙක් මේ ගුණ සමුදාය තනි ව රස විඳීමට මගේ සිතේ කැමැත්තක් නැත. මෙය අන්තර්ජාල පිටපතක් සේ ඔබට තිළිණ කරන්නේ එබැවිනි. මෙහි පෙරවදන වත්, ඇතුළත් කරුණු වත් අවසන් කොට නැති බව සිහිපත් කළ යුතු ය.


මෙම ග්‍රන්ථය තවමත් මුද්‍රණය සඳහා ලියමින් යන එකක් බව දැන, අක්ෂර දෝෂාදිය නො සලකා හැර මෙම ග්‍රන්ථය කියවා ගනු මැනවි.


ග්‍රන්ථය කියවීමට පෙළගැස්ම කියවා, ප්‍රධාන අංක වන 01, 02, 03 වැනි අංක වල පරිච්ඡේද ද, 1.1, 1.2, 1.3 වැනි අනු අංක වල පරිච්ඡේදයට අදාළ කථා වස්තු ද ලියා දක්වා ඇත.


අපමණ බුදු ගුණ සිතේ දරා ගෙන සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යන්න මාගේ එක ම පැතුම වෙයි.


ඔබ ගේ කළ්‍යාණ මිත්‍ර,

කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ.

2024 ක් වන ජනවාරි මස 20 වන දින.

Designed by Sujatha Puthra Meditation Center

bottom of page