Sujatha Puthra Meditation Center
Your Membership ID
මේක මීට අවුරුදු 13කට කලින් කථාවක්..
යුධ හමුදාවට බැඳෙන ඕනෑ ම සෙබලෙක්ට ලැබෙනවා මූලික පුහුණුවක්.. ඒකට කියන්නෙ යුධ හමුදා ආධුණික පුහුණු පාඨමාලාව කියලා..
ඔය පාඨමාලාවට එන 100 ක් විතර කොල්ලො ටික මේ එක පුහුණු පාඨ මාලාවකට දානවා.. ඒකට හමුදාවේ කියන්නෙ බැජ් එකක් කියලා..
ඉතින් ඔය බැජ් එක මාස කිහිපයක් පුරාවට ක්‍රමාණුකූලව මේ හමුදා පුහුණුව ලබනවා..
කායික ශක්තිය, දරාගැනීම, විවිධ යුධ අභ්‍යාස වලට දක්ෂතාවය සහ විනය කියන්නේ මේ මුළු පාඨමාලාව පුරාම කරන විවිධ දේවල් වලින් හමුදා සෙබලෙක් ඉගෙන ගන්න ප්‍රධාන පාඩම්..
මට මේ ජීවිතේ ලැබුණු උත්පත්ති 03 යි..
01. මවුකුසින් ඉපදීම.
02. යුධ හමුදා ජීවිතය.
03 මහණ ජීවිතය.
මේ තැන් තුනේදි ම මට සහෝදර සහෝදරියො අලුතින් ලැබුණා.
හමුදා ජීවිතේ මට ලැබුණු සහෝදරයො ටික තමයි මගේ බැජ් එක. වසර 13කට පස්සේ අද ආපහු මට ඒ හැමෝවම හම්බවෙන්න පුලුවන්කම ලැබුණා.
මේ අතීතය වළදාන්න මට අවශ්‍ය නැහැ. මොකද මගේ ජීවිතේ ගෙවිච්ච තවත් ලස්සනම කාලයක් තමයි ඒ කාලය.
සිවිල් ඇඳුමින් හමුදා කඳවුර ඇතුලට ගිය තැන ඉඳන් හිමින් හිමින් Uniform එක අඳින්න, විවිධ වර්ගවල Weapons අතපත ගාන්න, ඒවාගෙන් වෙඩි තියන්න, හමුදා බූට් දෙකක් දාගෙන නයි පොළොංගු අලි ඇත්තු සැරිසරන කැලෑවල් වල යුධ අභ්‍යාස මෙහෙයුම් කරන්න, හැමදාම උදේ හවස ශාරීරික ව්‍යායාම අභ්‍යාස වල යෙදෙන්න, සැතපුම් 02 න් පටන් අරන්, දවසකට සැතපුම් 24ක් අඛණ්ඩව සීමා සහිත කාලයක් ඇතුළත දුවලා ඉවර කරන්න, සති කිහිපයෙන් කිහිපයට PT Test හෙවත් ශාරීරික ව්‍යායාම මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණ වලට මුහුණ දෙන්න, රාත්තල් ගණන් වැලි පුරවපු කොට්ට වල බර දරාගෙන තෙමිච්ච Uniform, බූට් වලින් කඳු වල උඩ පැත්තට දුවන්න..
රෑ දෙකට තුනට වුණත් අධික සීතල වතුර වල යුධ අභ්‍යාස පුහුණුවීම් කරන්න, හොඳටම හෙම්බත් වෙච්ච වෙලාවක කිසිදු ආයුධයක් අතේ නැති ව වුණත් සතුරට හසු වුණොත් ආයුධ අතේ තියෙන සතුරෙක් එක්ක වුණත් සටන් කරලා කරදරයක් නැතිව ආපහු එන්න පුරුදු කරන යහු ල් සටන් කරන්න, අවි සහිතව මෙන් ම අවි රහිතව පවා ඕනෑ ම කෙනෙක් එක්ක ඕන තරම් සටන් කරන්න, කෑම බීම කැලෙන් ම හොයාගෙන කාලා කැලේ ම රැකෙන්න ඉගෙනගන්න, Compass එකක් අතට අරන් ඕන ම කැලයක් මැද්දෙන් තමන්ට වුවමණා තැනට නිවැරදිව යන්න, සිතියමක් කියවන්න, යුද බිමේ ඇති යුධ භූමි උපක්‍රම ඉගෙන ගන්න, නායකත්වය ගැන ඉගෙන ගන්න..
මොන තරම් අමාරු සිටුවේෂන් එකක වුණත් අපේ සගයෙක්ට වෙඩි වැදුණොත් එයාව දාලා නෑවිත් උරහිසට අරන් ආපහු අරන් එන්න, Lane Firing කරන්න, Underground Firing කරන්න, සත විසි පහක් තුවක්කුවේ Point එක උඩ තියලා ඒක වත් වැටෙන්නෙ නැති තරම් ගැස්මක් නැතිව ඉලක්කයට වෙඩි තියන්න, තත්පර ගාණක් ඇතුළත මැගසින් කිහිපයක් Fill කරන් ලෑස්ති වෙන්න, ඒකට අවශ්‍ය ශක්තිය හදාගන්න ඇඟිලි විතරක් බිම තියලා Push Up 50, 60 ගාණක් නැතිව ගහන්න..
මුලු ලෝකයක් එක හුස්මට නිදියන රැයවල් වල තමන්ගේ මවුබිමේ ආරක්ෂාව වෙනුවෙන් රෑ පුරා තුවක්කුවක් තුරුලු කරන් නිදිමරන්න, කොල්ලෙක් විදියට ඕනම අභියෝගයක් දිනන්න පුරුදු වෙන්න, කැලේට, ඝනඳුරට, සත්තු සර්පයන්ට තියෙන බය නැති කරගන්න, එකා පිට එකා වැටෙනකම් ගැහුවත් තමන්ගේ සගයන්ව පාවලා නො දෙන්න, බෝම්බ වගේ දේවල් එක්ක ඕන විදියකට වැඩකරන්න, LMG, RPG වගේ ටිකක් හෙවි වෙපන් පවා තමන්ගේ රට වෙනුවෙන් පාවිච්චි කරන්න, උන් ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් උද්ඝෝෂණයක් කරන කොල්ලො කෙල්ලොන්ගේ කැරල්ලක් මර්දනය කරන්න ගියාම මූණට හූ කියන, වතුර ගහන අපේ ම උන්ට හිතින් හිනාවක් දාලා අනුකම්පාවෙන් ඉවසන්න වගේ ඔකී මෙකී නොකී ගොඩක් දේවල් මට කියලා දුන්න තක්සලාව යුධ හමුදාව..
එහෙම මං ගත කරපු අතීත කාලයේ මට ලැබිච්ච සහෝදරයෝ 100 න් කිහිප දෙනෙක් ව ආයිත් හම්බවෙන්න අවස්ථාවක් ලැබුණා විතරක් නෙවෙයි, ඔවුන් එක්ක අතීත අත්දැකීම්, වර්ථමාන භාවිතාවන් ගැන හුදකලාවේ ඇති වෙන්න කථා කරන්නත් අවස්ථාව ලැබුණා..
එයින් මා ගාවම හිටපු සහෝදරයො දෙන්නෙක්ව එදයි අදයි වෙනසෙ තරම බලන්න ලැබිච්ච මේ පින්තූරයේ තියෙන මේ මොහොතට මං කැමති, මේ පින්තුරයේ මගේ ඔය උත්පත්ති තුන ම පිළිබිඹු වෙන නිසා..
අදත් ඒ අය කියන තාම වෙනස් නො වෙච්ච එකම දෙබස, "හාමුදුරුවනේ ඔබ වහන්සේට සහෝදරයෝ 100ක් ඉන්නවා.. අවශ්‍ය ඕනම වෙලාවක අවශ්‍ය කාරණාව විතරක් කියන්න" කියන එක.
ඉතින් ස්තුතියි ඔබේ ඒ ලෙන්ගතු වචන වලට..
සාමාන්‍ය කඳවුරක කරපු මෘදු පාඨමාලාවක් නෙවෙයි අපිට කරන්න ලැබුණෙ.
දුෂ්කර පලාතක අධික රස්නය සහිත වෙච්ච Military School එකක, එහෙමත් නැතිනම් යුධ හමුදා පුහුණුවීම් වලට ම විශේෂයෙන් සකස් කරපු බිම් සහිත, විවිධ ඇෂුවල් Options සහිත, බාධක සහිත යුධ හමුදා පුහුණු පාසලක එකම මට්ටමට පුහුණු වෙච්ච, රාජකාරි කරන, එකම Combat එක, එකම Number 6 එක, එකම IS එක එකම විදියට ඇඳපු ඒ ජීවිතය විතරක් නෙවෙයි ඒ ජීවිතෙන් ලැබුණු ඔබේ සහෝදරකමත් මගේ ජීවිතේ අමතක නොවන උත්පත්තියක්..
හමුදාව කියන්නෙ අපේ ජොබ් එක විතරක් වුණු එකක් නෙවෙයි. ඒක අපේ ජීවිතේ ම කෑල්ලක්. අදටත් ඒ වෘත්තියට අපි ආදරේ ඒ නිසා. මේ වචන ටිකේ රස හමුදාවේ කොල්ලෙක්ට ම හැර වෙන කෙනෙක්ට තේරෙයි කියලාවත් මං හිතන්නෙ නෑ..
හැබැයි දැන් ඒ පරිච්ඡේදය ඉවරයි..
දැන් 2024.. අපි සිත්වලින් සෑහෙන්න ලොකු පරතරයක් තියෙන තැන්වල..
මේ වෙලාවෙත් ඔයගොල්ලො නිදි නැතිව තුවක්කුවක් තුරුලු කරන් වැටවල් දිහා බලාගෙන ඇති..
කවදාහරි ආයි එකම විදියට වැඩ කරන සිත් ප රම්පරාවල් වල, එකම පාරක අපි හමුවෙමු. එය ධර්ම මාර්ගය ම වේවා..
එතෙක් ඔබ සැමට ජය වේවා..
✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 28.07.2024