Sujatha Puthra Meditation Center
Your Membership ID
සම්මුති වසරක් ගෙවී පහන් වූ බව කියන අපූරු දිනකි.. දින 365ක අවසානයක් මතක් කර දෙන මේ අපූරු දිනය මම ද ප්රත්යවේක්ෂාවකට යොදා ගතිමි..
පසුගිය අවුරුද්ද ආරම්භ වන විට මාගේ සිත පුරා දිවූ ඒකායන බලාපොරොත්තුව වූයේ සුජාත පුතුන් වහන්සේලාගේ බිහිවීම ය.. ලක්දිව නොයෙක් තැන්වල පැවත් වූ ධර්ම දේශණා වලින් අනතුරුව සංසාරය ගැන සිතමින් එය ඉක්මවීමට සිත යොමන වෙර දරණ තරුණ දරුවන්ට සසුන් ගත වී ක්‍රමයෙන් මේ සංසාරය ඉක්මවීමට අවස්ථාව මාගේ ශක්තියෙන් සැකසිය යුතු ය යන අදහස ලේ ඇට මස් දක්වා මා තුළ කිඳා බැස තිබුණි..
නමුත් ඔවුන් සසුනක හිරවුණු හිරකාරයන් නොවී නිදහසේ නමුත් සංයමයකින් ගුණ දම් පුරන භික්ෂුන් වහන්සේලා මිසක් සුජාත පුත්‍ර භූමියෙන් මට රොබෝවරුන් අවශ්‍ය නොවුණි..
අදට මාස හතකට පමණ පෙර මා සුජාත පුත්‍ර භූමියට අත තැබූවෙමි.. අද වන විට එහි සුජාත බුදු පුතුන් වහන්සේලා 16 නමක් ද, සුජාත දියණිවරු 04 නමක් ද තවත් අපේක්ෂාවෙන් සිටින එක් දියණියක් ද හික්මෙමින් වැඩ වසති..
මාස කීපයක් තුළ සසුනට වූ ලාභය බලමින් මම එහි සුව විඳිමින් සිටිමි..
ලොවක් ඇතුලත දේශණාවන් අසා පැවිදී වීමට අපේක්ෂාවෙන් සිටින දූ දරුවන් මා විසින් පැවිදි කලේ නම් මෙය දහස් ගණනකින්වත් ප්‍රමාණ කළ නොහැකි වන බව මම දනිමි..
නමුත් මම මාගේ ප්‍රමාණය දනිමි..
දහස් ගණන් රෝගීන් සුවපත් කිරීමට වෙන් වන රෝහලක් බවට සුජාත පුත්‍ර භූමිය පත් නො කළ මම, ලක්ෂ ගණන් රෝගීන්ට යහපත කැඳවන වෛද්‍යවරුන් කීප දෙනෙක්ව සැකසීමේ විශ්ව විද්‍යාලයක් බවට සුජාත පුත්‍ර භූමිය පත් කළේ එබැවිනි..
අද එය පත්ව ඇති තැන මෙතැන ය.. මේ අප සෙනසුනේ පෘවජාවට පත්ව පිළිවෙත් පුරන සිල් ගුණ සරු උතුමන් වහන්සේලා ය.. අද දින තවත් 05 නමක් පෘවජ්ය භූමියට පත්ව සුජාත පුතුන් අතරට තවත් සාමාජිකයන් එක්වන ලදී..
ඇතැම් දිනක ධර්ම දේශණා වලින් අනතුරුව මධ්‍යම රාත්‍රියත් පසු වී සෙනසුනට වඩින මට ගල් උඩින්, ලෙන් තුලින් පේන ගිනි මැළ එළියෙන් දකින සුජාත පුත්‍ර යෝගාවචර භික්ෂුන් වහන්සේලාගේ පර්යංක ඉරියව්ව ගෙන දෙන්නෙ මහත් සැනසීමකි.. අනාගතය ගැන සරු සාර බලාපොරොත්තුවකි..
මේ මාගේ මහන්සියක ප්‍රතිඵල යැයි දැනෙන විට, ඔවුන්ගේ ද අභිනිෂ්ක්‍රමණ අප විසින් දේශණා කළ දහම් කරුණු අසා සිදු වූ බව අසන විට දැනෙන සැනසුම වචන කළ නො හැක..
සංසාරයේ අතරමංව ගසාගෙන යමින් තිබූ ජීවිත අද එයින් මිදීමට පැවිද්ද ආයාචනා කරන බව ඇසෙන මට ඇතිවන චිත්ත ප්‍රීතිය වචනවලට නම් පෙරළිය නො හැක..
බුද්ධ ශාසණය උතුම් තැනකි.. එහි දුර්වලයන්ට සිටිය නො හැක.. එයින් බුද්ධ ශාසණයේ උතුම් බවම පෙනෙයි.. දුර්වලයො මෙයින් පරාජයට පත් වන්නෝ ය..
මේ මිනිසත් භවයේ මා හට දැණුනු පළමු බුද්ධ වචනය දේශණා කොට වදාළ මගේ කළ්‍යාණ මිත්‍ර ගුරු දේවොත්තමයෙක් බඳු අවසරයි ! ගෞරවාර්හ පිනැති පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේටත්, අනතුරුව ගිහි දිවියෙන් නික්ම සරු පෘවජාවකට අවශ්‍ය ධර්ම ඖෂධය ලබා දී පැවිදි, උපසම්පදා කර හේතු ඵල දහමත්, සිත සකස් කළ හැකි බවත්, එය කරන්නේ මේ ආකාරයෙන් බවත් කර්මස්ථාන වශයෙන් ලබා දී පැවිදි දිවියේ මා පෝෂණය කළ මාගේ පරම පූජනීය ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේටත්, චීවරය පෙරවීමට කියා දී, පිණ්ඩපාතය කරගන්නා ආකාරය කියා දී, පෙළ අටුවාවන් අතට දුන් පූජනීය සහෝදර ස්වාමීන් වහන්සේලාටත්,
මේ වන විට මා පෘවජ්යා භූමියේ රැක බලාගන්නා මාගේ ආචර්ය ගුරුදේවෝත්තම පරම පූජනීය අරිසිමලේ නායක මා හිමිපාණන් වහන්සේටත්,
සෑම විටම ගිහි පැවිදි දෙජීවිතයටම මට මවක් වූ මගේ පින්වත් ලොකු අක්කාටත් අනිත් සහෝදරියන් මෙන් ම පින්වත් අම්මාටත්,
ඈත රටක සිට වූවත් සාංසාරික බැඳීමකට මෙන් පුංචි අසනීප තත්වයකට පවා ඇවැසි සියලු දේ සොයා බලමින්, සියලු තැන්හි මා සමග සිට කටයුතු කරන පින්වත් අක්කාටත්, අයියාටත් දූ දරුවන්ටත්,
ධර්ම චාරිකාවට මෙන් ම සුජාත පුතුන්ටත් වාරණයකින් තොරව උපකාර කරන #සිත_හදන_මග සුජාත පුත්‍ර කැපකාර මණ්ඩලයටත්,
සුජාත පුතුන්, සුජාත දියණියන් ඇතුලු සියලු පින්වත් මහ සඟ රුවනටත්, සිල් මෑණිවරුන්ටත්,
රැක බලාගත් ලඟ සිටි සියලු දායක කාරකාදීන්ටත්, සහෝදර ස්වාමීන් වහන්සේලාටත්, ඔබ සියලු දෙනාටත් දිගාසිරි ලැබෙන නිදුක් නිරෝගී චිර ජීවනය පිරුණු, සිල් ගුණ දම් වලින් සුවඳ වූ ජීවිත ලැබෙන්නට මා කළ මේ සියලු කුසල් අනුමෝදන් වෙත්වා යි පැහැදුණු සිතින් ආශිර්වාද කරන අතර භව දුක් නිවීම පිණිස වේවායි එක් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි..
මිය ගිය පියාණන් වහන්සේ ඇතුළු සියලු මිය ගිය ඥාතීන් ද, දෙවියන් ද මේ පින් අනුමෝදන් සාංසාරිකව සුවපත්ව භව දුක් නිවාගනිත්වා.. ඊට මේ කුසල් පාරමී වෙත්වායි පුණ්‍යානුමෝදනා කරන්නෙමි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 01.01.2021