top of page

අවසරයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස..

Walpola Gothama Thero අවසරයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස..


ඔබ වහන්සේගේ මෙම සටහන දැක කරුණු කීපයක් ලියා තැබීමට සිතක් උපන් හෙයින් මෙම සටහන තැබීමට කල්පනා කළෙමි.


මෙය ප්‍රසිද්ධියේ ලිවීමට හේතුව මෙම සටහන යටින්ම දක්වනු කැමැත්තෙමි.


පළමුව ඔබ වහන්සේගේ අවවාදය සහ ආශිර්වාදය නමස්කාර පූර්වකව පිළිගනිමි.


ඔබ වහන්සේ දන්නා පරිදිම මම ඔබ වහන්සේ වෙත ඉතා ගෞරවණීය සිතක් ඇති ස්වාමීන් වහන්සේ නමක් ලෙස මෙම පහත සටහන තැබීමට කැමැත්තෙමි.


මගේ ස්වාමීන් වහන්ස..


මෙයින් වර්ෂ කීපයකට පෙර මා ගෙවූ සැනසීමේ තෙරක් නැති යෝගාවචර දිවිය ටික කළකට බහා තබා මේ විච්චූරණ ලෝකය වෙත පා නැගූ කාරණා කීපයක් වෙයි.


ඒ මා බොහෝ කළකට ඉහතදී එක්තරා සැන්දෑ යාමයක සැනසීම පිරි සිතකින් “මා මේ විඳින බුදු සසුනේ සැබෑ සැපය මිනිසුන් විඳින්නේදැ”යි කල්පනා කොට අන්තර්ජාලය සහ සමාජය පිරික්සා බැලූ විට මා දුටුවේ පුදුම සහගත දේවල් කීපයක් ය.


⭕️එකෙක් තමන් සම්මා සම්බුද්ධත්වයට පත්ව ඇතැයි කියයි.

⭕️තවකෙක් අමුතු නිරුක්ති ලබා දෙයි.

⭕️තව වෙනත් ආගමක ගී කියන්නෙක් පන්සල් ගානේ ගොස් ‍විනය පිටකය හිර ගෙයක් යැයි කියා දෙයි.

⭕️සතිපට්ඨානය යනු සිහියෙන් වගා කිරීම බව කියයි.

⭕️ස්වාමීන් වහන්සේලා කුඹුරු වල වැඩ කරයි. ගිහියන් එයට ප්‍රශංසා කරයි.

⭕️තවත් පොඩි හාමුදුරු කෙනෙක් සින්දු කියා ටික් ටොක් එකේ දමයි.

⭕️සංසාර සාරෝඝ විනීත නීසං ගාථාවෙන් බජව් දමයි.


මා පැත්තකට ගොස් කල්පනා කර බැලූවෙමි.


මා එම මොහොතේ වැඩ සිටියේ නැගෙනහිර පළාතේ බැවින් මහ පොළව මත ඇති අන්‍යාගමික අන්තවාදී මතවාද ගොඩනැගෙන විදිය සහ ඔවුන් මුදල් බලයෙන් බෞද්ධයන් බුරුතු පිටින් අන්‍යාගමීකරණය කරන සැටිත් දැක මේ තරම් සැනසීමක් දිය හැකි දහමක් මෙලෙස වේගයෙන් අභාවයට පත් වීම ගැන සංවේග සිතින් යුක්තව ප්‍රත්‍යවේක්ෂා කර බැලූවෙමි.


පසුව මා මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගෙන් අවසර ගෙන මෙය කාලයත් සමග නැතිම කිරීමට​ නොහැකි වූවත් මෙය පාලනය කිරීමට උත්සහයක් ගන්නට මේ විච්චූචරණ සහිත ලෝකය වෙත වැඩම කළෙමි. නමුත් ඒ බොහෝ කළකට නම් නොවේ. බොහෝම ටික කළකට ය.


මා එකළ ප්‍රසිද්ධ තලයේ ධර්ම දේශකයෙක් නොවූ නිසා අන්‍යාගමීකරණයට පත් වෙමින් තිබූ නැගෙනහිර සහ උතුර යාබද වෙන පුංචි ගම්මානයක සිට මෙය ශුද්ධ කරන්නට පටන් ගතිමි.


ගම්වල බැසගෙන තිබූ පුල්යාර සංකල්පයේ පටන් ක්‍රමයෙන් මතය නිවැරදි කරමින් ආ ගමනේ ප්‍රසිද්ධ සමාජය තුළ බැසගෙන තිබූ වැරදි සංකල්ප උදුරන්නට පටන් ගත්තේ එකළ මහත් ප්‍රසිද්ධියකට පත්ව පන්සල්, පාසල්, යුධ හමුදා කඳවුරු වල පවා බුදු දහමට වැරදි අර්ථකථන ගෙන ගිය චාල්ස් තෝමස් නැමැති තැනැත්තෙක්ට එරෙහිව සිදු කළ පටිගත කිරීමක් සමග ය.


බෞද්ධ යැයි කියාගත්, සිංහල යැයි කියාගත් සියළු දෙනා ඒ වීඩීයෝව නරඹා මට කියූ කුණුහරුප තවත් භව දෙක තුනක් ගියත් මට අහගන්නට බැරි බව මම සිනහමුසු මුහුණින් අදටත් පිළිගනිමි.


එම පණිවිඩය සමාජය වෙත දැන්වීමේ අවශ්‍යතාවය නිසා මම මගේ යෝගාවචර මානසිකත්වයෙන් ඉවත් වී චාල්ස් තෝමස් #නරියෙක් යන මාතෘකාව සහිතව එම පණිවිඩය සමාජයට මුදා හැරියෙමි.


මෙය සමාජයට දරුණු වෛරසයක් මෙන් පැතිරී ගිය අතර ඔබ වහන්සේ අදටත් ධර්ම සාකච්ඡා පවත්වන නෙත් නාලිකාවේ වරුණ අයියා සමග මම මේ ගැන දිගින් දිගටම සමාජය එකළ දැනුවත් කළෙමි.


මුලින් ආ ඇනුම් බැනුම් ක්‍රමයෙන් අඩු වී ගොස් සමාජය මා කී පණිවිඩය තෝරා ගන්නට සමත් විය. එය ඔබ වහන්සේගේ සමීප හිතවත් ස්වාමීන් වහන්සේ නමක් වන නෙල්ලිගල ස්වාමීන් වහන්සේ සහ උන්වහන්සේ ලඟින් ඇසුරු කළ යුධ හමුදාපතිවරයා මෙන්ම ඔබ වහන්සේත් දන්නා බව මම ඉඳුරාම දනිමි.


මට ගම් පුරා රට පුරා වැඩ සිටින ස්වාමීන් වහන්සේලා කථා කොට මේ ගැන ප්‍රශංසා කොට ඔහුගේ වැඩසටහන් නවත්වන බවට සහතික විය.


මම මේ වැඩයට ඉදිරිපත් වූ ක්‍රමය සහ එම වීඩීයෝවට මා දැමූ නම ගැන මට තවමත් ඇත්තේ සාධාරණය කරගැනීම​ට හැකි කරුණු නොවන බව මම ඔබ වහන්සේට පාපෝච්ඡාරණය කිරීමට කැමැත්තෙමි.


නමුත් එයින් ලත් අවසන් ප්‍රතිඵලය ගැන මට ඇත්තේ දෙවන ධර්ම සංගායනාව කළ මහ රහත් මුණිවරයන්ගේ සෙවණේ වැඩ සිටින භික්ෂුවක් විඳින සැනසීමම ය.


මින් මතු දිගින් දිගටම අධර්මය අධර්මය ලෙස පෙන්විය යුතු තැන පෙන්නා සිටීමටත්, එපමණකින් නොනැවතී ධර්මය ඉස්මතු කර පෙන්වීමටත් මා කටයුතු කරන ලදි. එහිදී අප ඉතා අමාරුවෙන් තනිවම උගත් අභිධර්ම පිටකය සහ විදර්ශණා භාවනාවන් සමාජය මතුපිට කරුණු සහිතව තැබීමට​ ගත කළ සියලු දිනයන් තුල නොනිදා සිටි දිනයන්ම වැඩි මිසක් අඩුවක් නැත.


අරණ්‍යවාසීන් බත ගසා බුදියන්නේ ය, අපි වැඩකරන්නේය යන කියමන කියමින් සමාජයට එකළ අභියෝග කර කර සිටි ඊනියා රහෙතක් වෙත ප්‍රසිද්ධියේ සාකච්ඡාවකට ආරාධනා කොට, ඔහුගේ කටත් මේ දැන් ඇති තරමට වසා තැබීමට මා කටයුතු කලේ ඉන් පසුව ය. අද ඔහු වගාවක් කරගෙන සිටිනවා මිස, වැරදි ධර්ම කරුණු නොකීමට ඇති ප්‍රවේසම සය එයට හේතුව ගැන ඔබ වහන්සේ සිතා බලනු ඇතැයි මම සිතමි.


කුඹුරු කෙටීමට බැසගත් භික්ෂුන් වහන්සේලා දිගින් දිගටම වගා සංග්‍රාමයක් ගැන කථා කරන විට මා තනිව එයින් විරුද්ධ පස සිටගෙන එහි ඇති අකැප භාවය ලොවට කීම නිසා ඉරිදා සිත් නෙත් අසපුවේ සිදුකරගෙන ආ අභිධර්ම දේශනා මාළාව අතරමග නවතා මට එයින් ඉවත් වන්නට සිදු වූ අයුරු මටත් වඩා හොඳට ඔබ වහන්සේ දකින්නට ඇතැයි මම සිතමි.


ඉන් මතු දිගටම සියලු රූපවාහිනි නාලිකාවන් මේ වාරණය මා වෙත පැණ වූ අතර මා ඒවායේ රැඳී නම ආරක්ෂා කරගැනීම පසෙකලා මා පැමිණි කාර්යයේ දිගටම නිරත වූවෙමි.


දෙරණ, සිරස, ගුවන් විදුලිය, නෙත්, ස්වාධීන රූපවාහිනී වැනි සියලු නාලිකාවන් ඒ කටයුත්තම එක ලෙස සිදු කළ බව සත්‍යයක් යන්න ඔබ වහන්සේට සිතා ගත හැකි බව මම සිතමි.


මින් මතු ද මේ ආකාරයෙන්ම තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේට බැණ වැදුණු බො. සේනාවේ භික්ෂුන් වහන්සේ සමග මා එක ලෙස එම ප්‍රකාශයට විරුද්ධ වීම නිසා මා මුහුණු දුන් සියලු කරදර කිසිවෙක් වෙත නොකියා, දිගටම මගේ කාර්යයේ නිරත වූවෙමි.


එකළ මා සමග සිටි සියලු යුධ හමුදා භටයන් මහ රෑ නැවත කඳවුරට කැඳවා ඔවුන්ගෙන් මා ගැන කල විමසීමේ පටන් ඊලඟ ජනාධිපතිවරයා පත් වන විට මරා දමන බවට කළ තර්ජන අතර පවා මම නිහඬව පෙනී සිටියේ ධර්මය වෙනුවෙන් පමණි.


මේ වන විට මා වෙත ස්වාමීන් වහන්සේලාගේ අවධානයද යොමු වී තිබුණු බැවින් උන්වහන්සේලා හට මා පුද්ගලිකව අපි කණ්ඩායමක් ලෙස එකතුව මේ අධර්ම මත දුරු කිරීමට පෙනී සිටිය හැකි නම් තනිව මේ කරන සටනින් මට මිදිය හැකි බවත්, සාමූහික තීරණ වලට යටත්ව මේ කටයුතු පහසුවෙන් සිදු කළ හැකි බවත් පවසා සිටියෙමි.


නමුත් සිදුවූයේ අනිකක් ය.


එතෙක් බණ කියමින් සිටි නාලිකාවලින් ද පෙර නාලිකා කළ සෙල්ලමම සිදු කොට, උන්වහන්සේලාගේ වෝල් වල මම ගැන බණ කියවෙන්නට පටන් ගෙන තිබුණි.


(තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ සහ කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේලා හැර. උන්වහන්සේලාගේ ආශිර්වාදය සහ සහයෝගය සහ කළ්‍යාණ මිත්‍ර උපදේශ අවශ්‍ය හැම තැනකදීම නිබඳවම ලැබිය යුතුම ආකාරයෙන් ලැබුණි)


මේවා කළ යුත්තේ හිමිහිට ය, ඔබ වහන්සේ පරිණත වන විට හරියනවා ය, තව ටිකක් ලොකු වෙන්න ය, මේ සියල්ල අනිත්‍යය ආදී වශයෙන් මා අපරාධයක් කරන්නෙකු ලෙස සලකා එකළ කියවුණු බණ ගණන මා කියූ බණ වලටත් වඩා වැඩි ය.


රූපවාහිනිය වැනි නාලිකාවන් අධර්ම මත පවසන ස්වාමීන් වහන්සේලා ගෙන් වූ විට මා එයට විරුද්ධ වූ සැටිත්, ඔබ වහන්සේගේම වචනය අනුව නැවත නිහඬව පැත්තකට වූ හැටිත්, නැවත ඔබ වහන්සේවත් එම නාලිකාවලින් රවටා කරපු දේ දැක නැවත එයට හඬ අවදිකල හැටිත් ඔබ වහන්සේම දකින්නට ඇතැයි මම සිතමි.


මේ සියල්ල මෙලෙස සිදුවන විට දේශපාලනීකරණය වී ඇති නිකායන් විසින් මට තර්ජන ආ අතර අවසානයේ දී සිදුවූයේ මා සිටි නිකායෙන් මා ඉවත් කිරීමට තීරණය කිරීමය. එය මා පණ මෙන් රැකි උපසම්පදාව සමග ඔවුන් කළ භයානක සෙල්ලමකි.

මා උන්වහන්සේලාගෙන් එසේ ඉවත් කිරීමට හේතුව කුමක්දැයි ඇසු විට, අන්‍ය නිකායන් සමග සහයෝගීභාවයෙන් වැඩ කිරීම සහ මේ වැනි විකෘති වලට එරෙහිව කථා කිරීම යන පිළිතුරු දෙක මට ලැබුණි.


කී කීපයක් කරුණු අතර නොකී දේවල් දහසක් ඇතත් මෙතරම් සසුන් කිසකට හිත යොමා ඇති මා වැන්නෙක් නිකායකින් ඉවත් කරන විට කිසිම ධර්මවාදී, විනයවාදී ස්වාමීන් වහන්සේ නමක් මා සමග එකට නොසිටි හැටි සිහිවන මට අධර්ම මතයක් හෝ අයහපතක් මර්ධනය කිරීමට කටයුතු කරන විට ඒවාටද මට බණ කීමට පෙනී සිටින හැටි මම තරමක සිනහ මුසු මුහණින් ද, උපේක්ෂා සහගත සිතකින් ද තවමත් බලා සිටිමි.


මා තැනූ බුදු පුතුන් වහන්සේලාගේ ආධ්‍යාත්මය පිරික්සා නොබලන ඔවුන් මට ඇති වස් ගණන ගනිනු දැක මම එය දැනටත් සිනහවෙන් පිළිතුරු තබා මගහැර යමි.


දැන් ද අපි රටක් ලෙස ඇත්තේ තීරණාත්මක මොහොතක ය.

දැනුදු මම මගේ වගකීම කරමින් සිටිමි. පෙර සියලු කරුණු වල මෙන් මම මේවාට තනිවම පිළිතුරු තබන හෙයින් සමහර විට මා එයට ඉදිරිපත් වන විදිය මම තවමත් සාධාරණීකරණය නොකරන බව ඔබ වහන්සේගේ පාමුල වැටී ම පාපොච්ඡාරණය කැමැත්තෙමි.


මම අවසන් ප්‍රතිඵලය දෙස බලා දැනට කටයුතු කරමි.


නමුත් ඉදිරියේදී ස්වාමීන් වහන්සේලා එකතුව කණ්ඩායමක් හදන බව මට දිනයකට පෙර දැනගන්නට ලැබුණි.


මා පළමුව උන්වහන්සේට කී​වේ "මා එක්ක වැඩ කිරීමට අකමැති ස්වාමීන් වහන්සේලා නිසැකවම ඇති. නමුත් ගෝතම ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාව මේකට නිසැකවම ගන්න. ඔබ වහන්සේලා සියලු දෙනා සමග මෙම සසුන් කෙතේ මේ වගකීම කරට ගත් දාට මම නැවත සෙනසුනට වී සිත් නිදහසේ කාලය ගත කිරීමට​ කැමැත්තෙන් පසුවන බව" ය.


මට අවසාන වශයෙන් කිව යුතු දෙයක් ඇත.


එදා මම යෝගාවචර දිවියේ ලත් සැනසීම මම අදද අඩු නැතිව විඳින අතර, සියලු සිද්ධි සමුදායන් මැද මම මගේ වගකීම පැහැර නොහැර කළ භික්ෂුවක් ලෙස තව තවත් සැනසීමෙන් පසුවෙමි.


මගේ වයසට වඩා බුදු පුතුන් තනා සසුනට දායාද කර ඇති අතර, අද ද ඔබ වහන්සේලාගේ සසුන් කිස දෙස එදා මෙන් ම සතුටු සිතින් බලා සිටිමි.


පෙර කී ලෙසම ඇතැම් විට සමාජයට සරිලන භාෂාවෙන් පණිවිඩය සමාජ ගත කළ ද, එහි අවසන් ප්‍රතිඵලය දෙස මා බලා සිටින්නේ කෙළවරක් නැති සැනසීමක් විඳින බුදු පුතෙක් ලෙස ය.


මෙය ප්‍රසිද්ධියේ තැබීමට කල්පනා කලේ අවශ්‍ය නම් සමාජයටම මෙයින් පණිවිඩයක් ගැනීමට හැකි වනු ඇති බව කල්පනා කරමිනි.


අවසරයි මගේ ස්වාමීන් වහන්ස.. තවත් එක් දෙයක් පවසමින් මම මේ සටහන අවසන් කරන්නට කැමැත්තෙමි.


මා මේ කර්තව්‍ය කරන විට එයට උපකාර කිරීම පසෙකලා, මටම ඇනුම් පද කියමින් සමාජය ශෝධනය වන කරුණු ගෙන හැර පාන ස්වාමීන් වහන්සේලා දුටු විට මම ඇතැම් තැන්වල එම ප්‍රකාශන වල ඇති සාවද්‍ය බව සහ මෙය කිරීමේ අවශ්‍යතාවය මතු කර තැබීමට​ සමහරක් තැන්වල කටයුතු කර ඇත්තෙමි. එය එකට එක කිරීමක් නම් නොවේ.


නමුත් මට ගැටලුව ඇත්තේ ධර්මවාදී පින්වතුන් වහන්සේලා සමග නොව, අධර්ම මත දරණ අය සමග බැවින්, ඒ වැනි සමහරක් තැන්වල කරුණු මතු කිරීමේදී කිව යුතු ස්වරයෙන් කීම නිසා ඇතැම් විට ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ සිත් රිදෙනු ඇති බව තේරුම් ගෙන නැවත ඒ ගැන පැවසීම පසෙකලා මගේ වගකීමම සුපුරුදු ලෙස කිරීම මම දැන් පුරුද්දක් කරගෙන සිටිමි. මන්ද මා විඳින සැනසීම තව පරම්පරා කීපයකට ඉතිරි කර දිය යුතුව ඇති බැවිනි.

අද දළදා වහන්සේට එසවු මුඛය හෙට ඔබ වහන්සේලාට ඔසවනු දැකීම නැවත්වීම පිණිසය. නැතිව ඔවුන්ව හිරේ දැමීමට නොව.


කී කරුණු ස්වල්පය. නොකී කරුණු එමට ය..


කෙසේ නමුත් ඒ වැනි අවස්ථාවක ඔබ වහන්සේ ඇතුලු මහා සංඝරත්නය​ වෙත මාගේ මුවින් පිටවුණු වචනයකින් හෝ සිත් පෑරීමක් වී ඇත්නම්, මහා සංඝයා පාමුල නමස්කාර පූර්වකව වැඳ සමාව පතමින්, ඔබ වහන්සේලා සියලු දෙනාට මේ ශාසන වගකීම ගෙන මෙය රකින්නට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමින් නවතින්නේ, එවැන් දවසක මට මේ විච්චූරණ ලෝකයෙන් මිදී නැවත මාගේ සුපුරුදු නවාතැනට යෑමට දිනය ලඟදීම උදාවේවායි නිතර පතමිනි.


මම ඔබ වහන්සේලාට සැබවින්ව ලෙන්ගතු සහ ගෞරව පූර්වක,


ධම්මවිජය ආයුෂ්මතුන් වහන්සේ වෙමි.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 13.01.2023



bottom of page