top of page

පටිසම්භිදාමග්ගප්පකරණය සහ චතුපටිසම්භිදාවන්..

පටිසම්භිදාමග්ගප්පකරණය සහ චතුපටිසම්භිදාවන්.............


පට්සම්භිදා යනු පිළිසිඹියා යන අර්ථය යි. පිළිසිඹියා යන වචනයේ අර්ථය විශ්ලේෂණාත්මක ඥාණය, විශේෂ ඥාණය යනුවෙන් යෙදේ.. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිවුපිළිසිඹියාවන්ට මාර්ගය හෙවත් අධිගම උපාය වන බැවින් මෙය පටිසම්භිදාමග්ග නම් වේ.. නොයෙක් භේදයෙන් යුත් ගැඹුරු අර්ථයන් ඇතැයි යන අර්ථයෙන් ප්‍රකරණ නම් වේ..


පටිසම්භිදාමග්ගය ධර්මයේ විශේෂ ප්‍රභේද දේශණා කර ඇති ප්‍රකරණයකි. ධර්මයේ විශේෂ ප්‍රභේද අහනවුන්ටම පටිසම්භිදාවන් උපදී. අශෛ්ක්ෂයන්ට අශේක්ෂඵලවිමෝකෂාන්තයේ ද ශෛක්ෂයන්ට ශෛක්ෂඵලවිමෝක්ෂාන්තයේ ද පටිසම්භිදාවන් උපදි. පුහුදුනන්ට අනාගතයේ ඉපදීමට පූර්ව යෝග වේ.. තථාගත දසබල ඥාණය මෙනි..


පටිසම්භිදාවන් සතරකි.. ඒවා විභංගයේ "අත්ථෙ ඤාණං, ධම්මෙ ඤාණං, තත්‍ර ධම්ම නිරුත්තාභිලාපේ ඤාණං, ඤාණේසු ඤාණං" ලෙස කීයෙන් මේවා ඥාණයේම ප්‍රභේද සතරක් බව දත යුතු ය. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන මේ සතරෙහි ප්‍රභේද සැලකීමට, ප්‍රකට කිරීමට, නිශ්චය කිරීමට සමර්ථ ඥාණය චතු පටිසම්භිදා ඥාණය නම් වේ..


චතුපටිසම්භිදාවන්............


අත්ථපටිසම්භිදා ඥාණය.....


අර්ථයේ ප්‍රභේද විශේෂයෙන් සිතා බැලීම, සලකා බැලීම ප්‍රභේද වශයෙන් අවබෝධ කර ගැනීම අත්ථ පටිසම්භිදා නම් වේ. මෙහි අර්ථ යනු සැකවින් 'හේතුව සහ ඵලය' යි. යම් හේතුවක් අනුසාරයෙන් යම් ඵලයක් වේ ද එය පිළිබඳ වූ ප්‍රභේදගත ඥාණයයි. පටිච්චසමුප්පන්න යමක් ඇත්නම් එය ද, නිර්වාණය ද භාෂිතාර්ථ , විපාක සහ ක්‍රියා යන පඤ්ච ධර්මයෝ පිළිබඳ වූ ප්‍රභේදගත ඥාණය යි. යම් ධර්ම ස්වභාවයක් හටගත්තේ ද ඒ පිළිබඳව ඥාණය, ජරා මරණ පිළිබඳ ඥාණය ( දුක්ඛ ), එය නැති කිරීමේ ඥාණය ( නිරෝධ ) සැකවින් කියතොත් ඵලය හා විපාකය පිළිබඳ වූ ඥාණය අර්ථ නම් වේ..


ධම්මපටිසම්භිදා ඥාණය....


ප්‍රත්‍යය හෙවත් හේතුව පිළිබඳව වූ ඥාණය ධම්ම නම් වේ. ඊට ඵල නිපදවන හේතු, ආර්‍ය මාර්ගය, බුද්ධ භාෂිත, කුසල, අකුසල යන පඤ්ච ධර්මයෝ දත යුතු යි. සමුදය හා මග්ග පිළිබඳ ඥාණය මේ නම් වේ.. යමක් උපන්නෙ යම් ස්වභාවයකින් ද එ් ස්වභාවය පිළිබඳ වූ ඥාණයයි. සංස්කාර හටගැනීමේ ඥාණයයි.


නිරුක්තිපටිසම්භිදා ඥාණය.....


කියන ලද අර්ථ ධම්ම වල යම් ස්වභාව නිරුක්තියක් හෝ අවිශේෂ ව්‍යවහාරයක් වේද එය උච්චාරණයේ, කීමෙහි, ප්‍රකාශයෙහි ඇති ඥාණයයි. සියයක් වූ භාෂාවන් පිළිබඳවත් විශේෂයෙන් ම මාගධී භාෂාව පිළිබඳ වූ ප්‍රභේදගත ඥාණයත් සමග ආර්‍ය ශ්‍රාවකයන්ට පටිසම්භිදා ප්‍රාප්තිය පවති.

පෘතජ්ජනයන්ට කොතෙක් භාෂා උගතත් පටිසම්භිදා ප්‍රාප්තියක් නැත. ආර්‍ය උතුමන්ට මාගධි භාෂාවෙන් ඇසීමේ පථයට පැමිණීමේ ප්‍රමාදයෙන් සිය දහස් නයින් ධර්මාවබෝධය වන්නේය.


පටිභානපටිසම්භිදා ඥාණය.....


කියන ලද ත්‍රිවිධ ඥාණ පිළිබඳ වූ ගෝචර, කෘත්‍ය වශයෙන් ඇති ප්‍රභේදගත ඥාණය මේ නම් වේ. කියූ ඥාණ තුනෙහි නුවණ අරමුණු කොට සිහි කරන්නහුට ඒ ඥාණ පිළිබඳ වූ ප්‍රභේදගත ඥාණයයි..


සටහන අප විසින් තබන ලද්දක් වන නමුත් ධර්ම න්‍යාය ධර්ම ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ වන සේක.. ඒ නිසා උපුටා ගැනීමට කිසිදු අවසරයක් අවශ්‍ය නැති අතර ධර්ම දානය පිණිස අර්ථ විකෘති නොකර කරුණු රිසි සේ උපුටා දැක්වීමට හැකි බව කරුණාවෙන් සිහිපත් කරමි.. තෙරුවන් සරණයි..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 22.05.2018

bottom of page